2009/09/27

අම්මා

රාස්සිගේ අවුව වැටී දිලෙනා වැව් බැම්මේ
එහා ඉමේ ගුරු පාරෙන් මම එනතුරු පිම්මේ
වෙව්ලන දෑසින් කඳුළැලි පිසිමින් නොම නිම්මේ
ඉනි වැට ළඟ නුඹ සිටියා මතකයි මට අම්මේ

පාලු දෙවැට දිග පීදෙන කඩුපුල් මල් හින්දා
හමන සුවඳ මුසු සුළඟේ නුඹෙ උණුසුම වින්දා
නුඹෙ සිනාව පුරහඳ සේ අහස් ගැඹේ රන්දා
අඩවන් නෙතු සඟවා නුඹ රහසේ ඉකි බින්දා

ගලනා ගොම්මන් අඳුරේ නුඹෙ හද දුක් ඇවිලී
අවරට යන හිරු දිලුනා රතට රතේ බැබලී
කනාමැදිරි එළි අතරේ අඳුරේ නුඹ නොසැලී
මා එනවිට නුඹ සිටියා සිතුවිල්ලක පැටලී

නැතිබැරිකම් අඟහිඟකම් සඟවාගෙන පපුවේ
අම්මේ නුඹ හෙලූ සුසුම් මා පමණයි දුටුවේ
මලක් පුදා ජයසිරිමා බෝ සමිඳුන් හමුවේ
නුඹේ සතුට විතරයි මා මෙතුවක් කල් පැතුවේ

2009/09/25

**************නුඹ**************

හෙමින් සැරේ ආවා නුඹ මගෙ හිත් අහසට
මටත් හොරෙන් හිත අරගෙන ගියාද ඈතට
නුඹ ගැන රෑ දුටුව සිහින බොඳවී යන විට
නෙතට නැගෙන කඳුලු සඟව ගන්නේ කෙලෙසට...........

අහස තරම් සයුර තරම් පැතුම් පැතූ මට
නුඹට හොරෙන් නුඹෙ නෙතු ලඟ එබිකම් කළ විට
දුටුවා පිදුබව සෙනෙහස නුඹ වෙන හිතකට
මුලා කලේ මම විතරද නුඹ මේ විලසට...............

සඳ නැති රෑ ලෙන්ගතුවෙයි අහසට තරු කැට
පුර පෝදා සඳු එයි තරු පරදා අහසට
තරහ නොවී තරුමල් රෑ සිතුවම් මැවුවට
සඳුත් දුරයි තරුත් දුරයි මගෙ හිත් අහසට...........

2009/09/24

**************ඇරඹුමක මතකය*******************

මුල පුරන්නට කලින් නිමා වුණු සෙනෙහසින්
සිත පුරා දුක් කඳුලු රැඳී ඇත නුඹ නමින්
ලෙන්ගතුයි නෙතු තවම නුඹෙ රුවට පෙර ලෙසින්
තවම මම ආදරෙයි සදා නොවෙනස් සිතින්

ආත්මය වෙලාගෙන සිහිනයේ දැවටෙමින්
ලංවුනේ නුඹයි මගෙ සිත් සයුර කලඹමින්
මොහොතකටවත් මගේ හද මැදුරෙ නොරැඳෙමින්
නුඹ මගේ ජීවිතෙන් කල්පයක් ගෙනගිහින්

2009/09/19

පොඩිම පොඩි ආරම්භයක්..........


ජීවිතේදි ගොඩාක් තනිවුනු වෙලාවලදි මගේ හිතට දැනෙන පුං
චි පුංචි සිතුවිලි කවිපේළි වලට නගන එක පුංචි කාලෙ ඉඳලම මට තිබුනු පුරුද්දක්.. ඒ කවි යාළුවන්ට දීලා අදහස් අරගන්න එකත් මගේ පුරුද්දක්.. එයාල මගේ කවි ගැන කතාකරද්දි හිතට ටිකක් විතර ආඩම්බරයකුත් ආවෙනැතුවම නෙවෙයි.. කැම්පස් එන්න ටික දවසකට කලින් මම ලියපු කවි පොත මගේ යාළුවෙක්ට දුන්න තියාගන්න.. මට හිතුනෙ කැම්පස් එක කියන්නෙ තනිකමක් දැනෙන තැනක් වෙන එකක් නෑ කියල.. ඒක නිසා ආයෙත් මට කවි ලියන්න ඕන වෙන එකක් නෑ කියල..

ඒත් ජීවිතේදි සමහර වෙලාවලදි අපිටත් නොදැනිම අපි තනිවෙනව.. අම්මගෙන් තාත්තගෙන් අක්කලාගෙන් ඈත් වෙලා ඉඳිද්දි අපිට කවුරු හිටියත් වැඩක් නෑ..

මහා සාගරයක් වගේ යාළුවො ඉඳිද්දි මගේ ජීවිතේට ආයෙත් හෙමින් හෙමින් තනිකමක් රිංගන්න පටන්ගත්ත.. ඒ වෙලවෙදි තමයි මට මගේ පුංචි කවිපොත මතක් උනේ.. අමතකවෙලා තිබුනු මගේ කවිපොත ආයෙත් මගේලඟට ආව.. අලුතෙන් එකම එක කවියයි ලිවුවෙ..

දැන් ඔයාලට තේරුම් ගන්න පුලුවන්නෙ ඇයි මම බ්ලොග් එකක් ලියන්න පටන්ගත්තෙ කියල.. මම කැමතියි ඔයලගෙ අදහස් වලට.. මගේ කවි ගැන ඔයාලට හිතෙන හැමදේම දැනගන්න මම කැමතියි.. මම මගේ කවි වලින් කැමතිම කවියෙන්ම මගේ බ්ලොග් එක පටන්ගන්නම්...............


සතර දිගින් අඳුරු වළා නිල් අහසේ පැතිර ගියා
පෑල දිගින් නැගි තරුකැට සඳුත් එක්ක බොඳව ගියා
විල් දිය මත පිපුනු නෙලුම් මල් දහසක් පරව ගියා
කඳුලු දිදී නෙතුමත්තට සිනාව මා අතැර ගියා

වසන්තයේ මල් සුවඳක පැටලී ආදරය සොයා
මගෙ හිතලඟ නැවතුනු නුඹ යලි වෙනතක ඇදී ගියා
නිල් කඳු අතරේ දැවටුනු මීදුම් සලු අතර තියා
නුඹෙ රුව රහසේ සඟවමි යලි නෙතු නොගැටෙන්න කියා

සිහින ලොවේ දොරගුලු බිඳ මන්දාරම් අඳුර සොයා
ගැබ්බර වූ අහස පුරා ගිගුරුම් හඬ වැතිර ගියා
වසන්තයක අවසානේ වස්සානේ නිමිති තියා
යලිත් වසන්තයක් ඇවිත් නුඹ වාගෙම යන්න ගියා.........