2013/01/04

වළාකුලට පැරදීලා නිල් අහසම සැඟවෙද්දී
කඳුලු සලා හිත හැඬුවා සඳ අහසෙහි බොඳවෙද්දී
ගනදුරු රෑ ආකාසේ තරු මං පෙත් අවුරද්දී
තනිවූ සිතුවිලි සැලුනා නෙතු කඳුලැලි වැගිරෙද්දී

පය පැකිලී ඇද වැටුනා දෙනෙත් අඳුර ගිලගද්දී
මඟ වැරදුනු බව දැනුනා සිත මත බිය රඟදෙද්දී
වැහි කෝඩෙට අහුවුනු පැතුමන් එකිනෙක බොඳවෙද්දී
සෙවනැල්ලත් අද නෑ මං ළඟ තනිකම රජවෙද්දී

අරුනැල්ලක් ඇවිදින් නෙතු පිය අස්සෙන් දිවයද්දී
හිරු ඇවිදින් නිල් අහසට ගනඳුර පසුබැසයද්දී
වෙව්ලන දෑඟිලි අතරින් උනුහුම ගත දැවටෙද්දී
හෙවනැල්ලත් යලි ඇවිදින් මගෙ තනිකම සිහිවෙද්දී