2009/10/22

............. සෙනෙහසට නිමාවක් .............

සැඟවුවත් නොසන්සුන් මා දෙනෙත ඔබ වෙතින්
හද හඬයි නොනැවතී නොදැක ඔබෙ රූ දසුන්
නෙතු පියන් සැලෙන විට හද පිරුනු සෙනෙහසින්
ලොවම නිසසල කලා රාවදුන් ඔබෙ හදින්

නෙතින් පෑ ඉඟි බසින් ඔබ වෙතට ළං වෙම්න්
සුමුදු බස් තෙපලන්න ඉඩක් නැත හදවතින්
නොයිදින්න ආයෙමත් පෙරමගට වී බලන්
සෝ පවන් ඇදෙනු ඇත මහද සුසුම්න් උපන්

හඬන්නට දෑසතුල පොරකකා කඳුලු වැල්
බලා හිඳිනා විටෙක කෙලෙස සඟවමි තැවුල්
කියන්නට හදෙහි
ති මුදු වදන් වී අවුල්
ගලපන්නෙ කෙලෙසින්ද ගොලුව ඇත මා දෙතොල්

අන්ධකාරයක බැඳි ආදරය නුඹ නමින්
නුරාවක් නොවේ එය අචින්ත්‍යයි පෙර ලෙසින්
සඟවන්න සිතපුරා පිරි හැඟුම් මා නමින්
අපට බැහැ එක් වෙන්න දෑත් බැඳ සෙනෙහසින්

2009/10/14

තාත්තේ නුඹයි මගෙ දුක් ගිනි නිව්වේ

දහඩිය වගුරුවා දහවල් ගිනි අවුවේ
බඩගින්නට වතුර විතරයි නුඹ බිව්වේ
අම්මා උනත් මට ලේ කිරි කර පෙව්වේ
තාත්තේ නුඹයි මගෙ දුක් ගිනි නිව්වේ

සතයක් සොයන්නට නුඹ විඳි දුක් ගොන්න
අමතක කර දමා මට සුර සැප දුන්න
තාත්තේ නුඹට සැප සම්පත් දෙන්න
පින්දම් පුරමි නුඹෙ පුතු වී ඉපදෙන්න

සැන්දෑ කලුවරේ නුඹ ගෙට ගොඩ වෙන්නේ
සුරතල් බසින් නැත නුඹ මා අමතන්නේ
සිතුනත් ආදරය නැතිබව මට දුන්නේ
මට දැන් තමයි නුඹ විඳි දුක් වැටහෙන්නේ

ඡායාවක් වෙමින් නුඹ මගෙ හිත අස්සේ
අත්වැල උනා මගෙ ජීවන මඟ ඔස්සේ
කඳුලු එකින් එක සඟවා නෙතු අස්සේ
සිනා ගෙනෙමි නුඹෙ දිවියට මින් පස්සේ

2009/10/11

තාත්තේ මට දැනේ වාරුව නුඹේ සුලැඟිල්ලේ

සිත් පුරාවට පීදෙනා දරු පෙමක හසරැල්ලේ
හැංගුනා දුක් කඳුලු එකිනෙක සෙනෙහෙ ගඟුලැල්ලේ
දෙපා සවිබල උරුම ලද්දෙමි දිවියෙ අරුණැල්ලේ
තාත්තේ මට දැනේ වාරුව නුඹේ සුලැඟිල්ලේ

නුඹේ දහඩිය බින්දු අහසට නැගුණු විට පිණිසේ
මතුවුණා සුදු වළා පෙළ දුර පෑල දිග අහසේ
වැටුණු විට ඉරිතැලී ගිය මහ පොළව වෙත වැසි සේ
දැනුණි නුඹෙ සිත පුරා නැගි දරු සෙනෙහෙ සුවඳක් සේ

දෙවුරු තල මත නැගුණු මැදුරෙහි පැතුම් හැම පිරුණයි
වාසනාවේ සිහින සිතුවිලි හද තුලෙහි බෝමැයි
පලා යන්නට නොහැකි දිවිමග කටු කොහොල් වේමැයි
නුඹේ අත්වැල සවිය කර මා දිනනවා සත්තයි