2009/12/07

නුඹ ලස්සන හීනයක්............

නිදි වරන නෙතු මතට
තාමත්
නුඹ ලස්සන හීනයක්............

ඉටු නොවෙන බව දැන දැනත්
ආසාවෙන් බලාගෙන ඉන්න පුලුවන්
ලස්සන හීනයක්........

දෑඟිලි පටලගෙන පියනොමැන්නත්
ලැමදට තුරුල් වෙලා නොහිටියත්
ආසවෙන් බලාගෙන ඉන්නපුලුවන්
ලස්සන හීනයක්.........

ආදරේ හිතයට තදකරගෙන
මුලු ලෝකෙම රවට්ටල මාවත් රවට්ටන
නුඹේ අහින්සක හිත
වැටකඩුලු වලින් රින්ගල
මේ හිතලඟ තනිවෙන්න හදද්දි
නොතේරුනා වගේ හිටියත්
ආසාවෙන් බලාගෙන ඉන්න පුලුවන්
ලස්සන හීනයක්

නුඹේ අහින්සක ඇස් දෙකට වහන් වෙලා
නුඹේ හිතට ලන්වෙන්න පුලුවන්නම්
ජීවිතේ පුරාවටම නුඹේ වෙන්න
හීන දකින්න අවසර නෑ මට

ඒත් නුඹ ලස්සන හීනයක්
නිදි වරන මගේ නෙතු මතට
තාමත්
නුඹ ලස්සන හීනයක්..........

2009/11/27

හෙවනැල්ල

මගේ පස්සෙන්මයි....
ඒත් තවම නුඹ අඳුරුයි....

කොච්චර එලිය වැටුනත්
නුඹ අඳුරුයි
ගල්වල හැප්පි හැප්පි
මගේ පස්සෙන් එන නුඹ....

කවදාවත් හති වැටුනෙ නෑ
මගේ ලඟමයි තාමත්
මගේ දුකට ,සතුටට
මගේ ලඟම හිටිය.....

හිතෙ තියන මහා ලෙන්ගතුකමට
මගේ ලඟ හිටියට
කිසිම වෙලාවක පෙන්නුවෙ නෑ
හෙවනැල්ල මට ආදරෙයි කියල


ජීවිතේට නොහිතපු වෙලාවක නොහිතපු විදියෙ කෙනෙක් ආවොත්................

හෙවනැල්ල , මගේ ජීවිතේට නොහිතපු වෙලාවක ආපු හෙවනැල්ල....... හෙවනැල්ල නිකන් අදහසක් විතරක් උනත් ඒක හැබෑවක් වෙයි කියල හිතේ පොඩ්ඩක්වත් අදහසක් තිබුනෙ නෑ... හෙවනැල්ල මගේ ජීවිතේට ආවට පස්සෙ මම හිනා උනා...... ගොඩක් හිනා උනා.... කවදාවත් නැතිතරම් හිනාඋනා..... මගේ ජීවිතේ කවුරුහරි වෙලා හෙවනැල්ල මගේ ලඟ ඉන්නව කියන විශ්වාසය මට තියනව..... හෙවනැල්ල මට කියපු සමහර දේවල් නිසා මම ආයෙත් ජීවත්වෙනව කියන දේ මට දැනෙනව..... අඳුරු හෙවනැල්ල ........... ගල්වල හැප්පි හැප්පි මාත් එක්කම මගේ ලඟින්ම හිටපු හෙවනැල්ල.... ඇත්තටම හෙවනැල්ල හැබෑවක්.......

2009/11/19



කඳුලු බිංදු සඟවගන්න
සිනා කැකුලු මල් පිපෙන්න
සිත් යායේ හමා ඇදෙන
සුවඳ දිගේ ඇවිද එන්න

සඳ හිරු තරු අතර යන්න
වළා අතර සැඟව ඉන්න
පියා සලා ඉගිල ඇවිත්
නුඹෙ ලමැදට තුරුලු වෙන්න

හීන අතර සැරිසරන්න
නොනිදන නෙත් මත රැදෙන්න
නුඹ රහසින් ගෙනගිය හිත
යලි ගෙනැවිත් මටම දෙන්න..........

2009/11/17

හෙවනැල්ල

නුඹට නොපෙනෙන්න සැගවුණා තමයි
ඒත් නුඹ මගේ හෙවනැල්ල කියල
මට අමතක උණා.....

මගේ පස්සෙන්මයි....
ඒත් තවම නුඹ අඳුරුයි....

කොච්චර එලිය වැටුනත්
නුඹ අඳුරුයි
ගල්වල හැප්පි හැප්පි
මගේ පස්සෙන් එන නුඹ....

කවදාවත් හති වැටුනෙ නෑ
මගේ ලඟමයි තාමත්
මගේ දුකට ,සතුටට
මගේ ලඟම හිටිය.....

හිතෙ තියන මහා ලෙන්ගතුකමට
මගේ ලඟ හිටියට
කිසිම වෙලාවක පෙන්නුවෙ නෑ
හෙවනැල්ල මට ආදරෙයි කියල

හෙවනැල්ල මාව දාල ගියොත්
මගෙ තනියට කවුද ඉන්නෙ?????????

2009/11/13

ඡායාව

ඇස් දෙකට නින්දක් නොදී
ආසාවෙන් බලාගෙන හිටිය
පාට පාට හීනයක්
ඒත් අවසානය
අදුරුයි.... භයානකයි........

මහා කැලයක් මැද මම තනිවෙලා
රෑ අහසට හද පායලත් නෑ
බය හිතෙන සද්ද වටේටම ඇහෙනව
එක පාරටම ගැස්සිල අවදිවුනා......

යාන්තමට දැක්ක බොදවුණු ඡායාවක්
කවුද හිටිය මගේ ඇස් ඉස්සරහ.....
ආදරෙන් පිරුණු ඒ ඇස්
මගේ ළගට හෙමින් හෙමින් කිට්ටු වෙනව.....

හීනියට සීතලක් දැනීගෙන
කදුලු ඔහේ කම්මුල් දිගේ ගලාගෙන ගියා
බොදවුණු ඡායාව ළගටම ඇවිත්......

ආදරෙන් තුරුලු කරගෙන
දයාබර උණුහුමක මාව ගුලිකර ගත්තා.......

පපුව ඩිග් ඩිග් ගාල ගැහෙනව
කන් දෙක අස්සෙන් හීනියට
හුරුපුරුදු කටහඩක්
"අඩන්න එපා පුතේ.....
අපි ගෙදර යමු....."

ඒ මගෙ අම්මා
ඔව් ඒ මගෙ අම්මා.......

2009/10/22

............. සෙනෙහසට නිමාවක් .............

සැඟවුවත් නොසන්සුන් මා දෙනෙත ඔබ වෙතින්
හද හඬයි නොනැවතී නොදැක ඔබෙ රූ දසුන්
නෙතු පියන් සැලෙන විට හද පිරුනු සෙනෙහසින්
ලොවම නිසසල කලා රාවදුන් ඔබෙ හදින්

නෙතින් පෑ ඉඟි බසින් ඔබ වෙතට ළං වෙම්න්
සුමුදු බස් තෙපලන්න ඉඩක් නැත හදවතින්
නොයිදින්න ආයෙමත් පෙරමගට වී බලන්
සෝ පවන් ඇදෙනු ඇත මහද සුසුම්න් උපන්

හඬන්නට දෑසතුල පොරකකා කඳුලු වැල්
බලා හිඳිනා විටෙක කෙලෙස සඟවමි තැවුල්
කියන්නට හදෙහි
ති මුදු වදන් වී අවුල්
ගලපන්නෙ කෙලෙසින්ද ගොලුව ඇත මා දෙතොල්

අන්ධකාරයක බැඳි ආදරය නුඹ නමින්
නුරාවක් නොවේ එය අචින්ත්‍යයි පෙර ලෙසින්
සඟවන්න සිතපුරා පිරි හැඟුම් මා නමින්
අපට බැහැ එක් වෙන්න දෑත් බැඳ සෙනෙහසින්

2009/10/14

තාත්තේ නුඹයි මගෙ දුක් ගිනි නිව්වේ

දහඩිය වගුරුවා දහවල් ගිනි අවුවේ
බඩගින්නට වතුර විතරයි නුඹ බිව්වේ
අම්මා උනත් මට ලේ කිරි කර පෙව්වේ
තාත්තේ නුඹයි මගෙ දුක් ගිනි නිව්වේ

සතයක් සොයන්නට නුඹ විඳි දුක් ගොන්න
අමතක කර දමා මට සුර සැප දුන්න
තාත්තේ නුඹට සැප සම්පත් දෙන්න
පින්දම් පුරමි නුඹෙ පුතු වී ඉපදෙන්න

සැන්දෑ කලුවරේ නුඹ ගෙට ගොඩ වෙන්නේ
සුරතල් බසින් නැත නුඹ මා අමතන්නේ
සිතුනත් ආදරය නැතිබව මට දුන්නේ
මට දැන් තමයි නුඹ විඳි දුක් වැටහෙන්නේ

ඡායාවක් වෙමින් නුඹ මගෙ හිත අස්සේ
අත්වැල උනා මගෙ ජීවන මඟ ඔස්සේ
කඳුලු එකින් එක සඟවා නෙතු අස්සේ
සිනා ගෙනෙමි නුඹෙ දිවියට මින් පස්සේ

2009/10/11

තාත්තේ මට දැනේ වාරුව නුඹේ සුලැඟිල්ලේ

සිත් පුරාවට පීදෙනා දරු පෙමක හසරැල්ලේ
හැංගුනා දුක් කඳුලු එකිනෙක සෙනෙහෙ ගඟුලැල්ලේ
දෙපා සවිබල උරුම ලද්දෙමි දිවියෙ අරුණැල්ලේ
තාත්තේ මට දැනේ වාරුව නුඹේ සුලැඟිල්ලේ

නුඹේ දහඩිය බින්දු අහසට නැගුණු විට පිණිසේ
මතුවුණා සුදු වළා පෙළ දුර පෑල දිග අහසේ
වැටුණු විට ඉරිතැලී ගිය මහ පොළව වෙත වැසි සේ
දැනුණි නුඹෙ සිත පුරා නැගි දරු සෙනෙහෙ සුවඳක් සේ

දෙවුරු තල මත නැගුණු මැදුරෙහි පැතුම් හැම පිරුණයි
වාසනාවේ සිහින සිතුවිලි හද තුලෙහි බෝමැයි
පලා යන්නට නොහැකි දිවිමග කටු කොහොල් වේමැයි
නුඹේ අත්වැල සවිය කර මා දිනනවා සත්තයි

2009/09/27

අම්මා

රාස්සිගේ අවුව වැටී දිලෙනා වැව් බැම්මේ
එහා ඉමේ ගුරු පාරෙන් මම එනතුරු පිම්මේ
වෙව්ලන දෑසින් කඳුළැලි පිසිමින් නොම නිම්මේ
ඉනි වැට ළඟ නුඹ සිටියා මතකයි මට අම්මේ

පාලු දෙවැට දිග පීදෙන කඩුපුල් මල් හින්දා
හමන සුවඳ මුසු සුළඟේ නුඹෙ උණුසුම වින්දා
නුඹෙ සිනාව පුරහඳ සේ අහස් ගැඹේ රන්දා
අඩවන් නෙතු සඟවා නුඹ රහසේ ඉකි බින්දා

ගලනා ගොම්මන් අඳුරේ නුඹෙ හද දුක් ඇවිලී
අවරට යන හිරු දිලුනා රතට රතේ බැබලී
කනාමැදිරි එළි අතරේ අඳුරේ නුඹ නොසැලී
මා එනවිට නුඹ සිටියා සිතුවිල්ලක පැටලී

නැතිබැරිකම් අඟහිඟකම් සඟවාගෙන පපුවේ
අම්මේ නුඹ හෙලූ සුසුම් මා පමණයි දුටුවේ
මලක් පුදා ජයසිරිමා බෝ සමිඳුන් හමුවේ
නුඹේ සතුට විතරයි මා මෙතුවක් කල් පැතුවේ

2009/09/25

**************නුඹ**************

හෙමින් සැරේ ආවා නුඹ මගෙ හිත් අහසට
මටත් හොරෙන් හිත අරගෙන ගියාද ඈතට
නුඹ ගැන රෑ දුටුව සිහින බොඳවී යන විට
නෙතට නැගෙන කඳුලු සඟව ගන්නේ කෙලෙසට...........

අහස තරම් සයුර තරම් පැතුම් පැතූ මට
නුඹට හොරෙන් නුඹෙ නෙතු ලඟ එබිකම් කළ විට
දුටුවා පිදුබව සෙනෙහස නුඹ වෙන හිතකට
මුලා කලේ මම විතරද නුඹ මේ විලසට...............

සඳ නැති රෑ ලෙන්ගතුවෙයි අහසට තරු කැට
පුර පෝදා සඳු එයි තරු පරදා අහසට
තරහ නොවී තරුමල් රෑ සිතුවම් මැවුවට
සඳුත් දුරයි තරුත් දුරයි මගෙ හිත් අහසට...........

2009/09/24

**************ඇරඹුමක මතකය*******************

මුල පුරන්නට කලින් නිමා වුණු සෙනෙහසින්
සිත පුරා දුක් කඳුලු රැඳී ඇත නුඹ නමින්
ලෙන්ගතුයි නෙතු තවම නුඹෙ රුවට පෙර ලෙසින්
තවම මම ආදරෙයි සදා නොවෙනස් සිතින්

ආත්මය වෙලාගෙන සිහිනයේ දැවටෙමින්
ලංවුනේ නුඹයි මගෙ සිත් සයුර කලඹමින්
මොහොතකටවත් මගේ හද මැදුරෙ නොරැඳෙමින්
නුඹ මගේ ජීවිතෙන් කල්පයක් ගෙනගිහින්

2009/09/19

පොඩිම පොඩි ආරම්භයක්..........


ජීවිතේදි ගොඩාක් තනිවුනු වෙලාවලදි මගේ හිතට දැනෙන පුං
චි පුංචි සිතුවිලි කවිපේළි වලට නගන එක පුංචි කාලෙ ඉඳලම මට තිබුනු පුරුද්දක්.. ඒ කවි යාළුවන්ට දීලා අදහස් අරගන්න එකත් මගේ පුරුද්දක්.. එයාල මගේ කවි ගැන කතාකරද්දි හිතට ටිකක් විතර ආඩම්බරයකුත් ආවෙනැතුවම නෙවෙයි.. කැම්පස් එන්න ටික දවසකට කලින් මම ලියපු කවි පොත මගේ යාළුවෙක්ට දුන්න තියාගන්න.. මට හිතුනෙ කැම්පස් එක කියන්නෙ තනිකමක් දැනෙන තැනක් වෙන එකක් නෑ කියල.. ඒක නිසා ආයෙත් මට කවි ලියන්න ඕන වෙන එකක් නෑ කියල..

ඒත් ජීවිතේදි සමහර වෙලාවලදි අපිටත් නොදැනිම අපි තනිවෙනව.. අම්මගෙන් තාත්තගෙන් අක්කලාගෙන් ඈත් වෙලා ඉඳිද්දි අපිට කවුරු හිටියත් වැඩක් නෑ..

මහා සාගරයක් වගේ යාළුවො ඉඳිද්දි මගේ ජීවිතේට ආයෙත් හෙමින් හෙමින් තනිකමක් රිංගන්න පටන්ගත්ත.. ඒ වෙලවෙදි තමයි මට මගේ පුංචි කවිපොත මතක් උනේ.. අමතකවෙලා තිබුනු මගේ කවිපොත ආයෙත් මගේලඟට ආව.. අලුතෙන් එකම එක කවියයි ලිවුවෙ..

දැන් ඔයාලට තේරුම් ගන්න පුලුවන්නෙ ඇයි මම බ්ලොග් එකක් ලියන්න පටන්ගත්තෙ කියල.. මම කැමතියි ඔයලගෙ අදහස් වලට.. මගේ කවි ගැන ඔයාලට හිතෙන හැමදේම දැනගන්න මම කැමතියි.. මම මගේ කවි වලින් කැමතිම කවියෙන්ම මගේ බ්ලොග් එක පටන්ගන්නම්...............


සතර දිගින් අඳුරු වළා නිල් අහසේ පැතිර ගියා
පෑල දිගින් නැගි තරුකැට සඳුත් එක්ක බොඳව ගියා
විල් දිය මත පිපුනු නෙලුම් මල් දහසක් පරව ගියා
කඳුලු දිදී නෙතුමත්තට සිනාව මා අතැර ගියා

වසන්තයේ මල් සුවඳක පැටලී ආදරය සොයා
මගෙ හිතලඟ නැවතුනු නුඹ යලි වෙනතක ඇදී ගියා
නිල් කඳු අතරේ දැවටුනු මීදුම් සලු අතර තියා
නුඹෙ රුව රහසේ සඟවමි යලි නෙතු නොගැටෙන්න කියා

සිහින ලොවේ දොරගුලු බිඳ මන්දාරම් අඳුර සොයා
ගැබ්බර වූ අහස පුරා ගිගුරුම් හඬ වැතිර ගියා
වසන්තයක අවසානේ වස්සානේ නිමිති තියා
යලිත් වසන්තයක් ඇවිත් නුඹ වාගෙම යන්න ගියා.........