2010/05/28

මතකයි

සෙනෙහස නොදැණුනු හිතලඟ තනි වී
නුඹෙ නෙතු හැඬුවා මට මතකයි.....
කඳුලක හිරිකඩ සුසුමක දැවටී
හිතමත හැමුවා මට මතකයි.....
අඳුරක තනි වී මැලවුණු නෙතු මත
හිරු කිරණක් වැටුණා මතකයි....
අමාවකට හඳ පායන විලසින්
නුඹ මාවෙත ආවා මතකයි........

සිත් මලුවේ පරවුණු මල් වෙනුවට
සුපිපි නෙලුම් දිලුණා මතකයි.....
පහන් වැට පුරා දැල්වූ පහනින්
සිතක් එලිකලා මට මතකයි....
පුරහඳ රෑ තරු දිලෙනා තරමට
මා නෙතු හැඬුවා මට මතකයි....
මුහුණ හොවා නුඹෙ ලයමත සැතපී
නුදුටු ලොවක් දුටුවා මතකයි.....

2010/05/23

හඳේ ඉන්න හාවා....


හඳේ ඉන්න හාවා
පොලව දිහා බලාගෙන ඉන්නව...
ඌ දඩයම් කරගන්න පුලුවන්නම්....
පුලුවන්නම් නෙවෙයි මට පුලුවන්...

ගෙනාවා ඊතලේකුයි දුන්නකුයි
අදත් බලාගෙනම ඉන්නවා
හරියට එල්ල කලා
එල්ලෙ ගන්න විතරක් අවුරුදු ගානක මහන්සියක්

මහන්සිය වගේද....
හඳේ ඉන්න හාවා ලැබෙනවනම්...

දුනු ශිල්පය දැන් මට කජු කනව වගේ.....
දවසක්....රෑ
පරිස්සමට දුන්නෙන් ඊතලය නිදහස් කලා
හඳේ ඉන්න හාවට එල්ල කරල

එත්..?????
හඳේ හාවෙක් නැතිලු....?????

කමක් නෑ....
මම දැන් දුනු ශිල්පය දන්නවනේ....

2010/05/14

ලොවම නිදිගත් යාමයේ

ලොවම නිදිගත් යාමයේ
මැකී නොමැකී මගේ නෙතු මත
ඇඳෙන නුඹෙ රූ
සොයා ආවෙමි සිහිනයක සැරිසරා......
ලොවම නිදිගත් යාමයේ

රැය උදාවන තෙක්ම දැවටී
මා ගතේ උණුසුම සොයා
නැවුම් උණුසුම් සුසුම් කැටිකර
මගේ තනියට ලඟ තියා
අඳුර මඟ අහුරා තියෙන තුරු
සිහින අතරේ මා දමා
හෙට දිනේ හිරු රැගෙන එන්නට
අඳුර මැද නුඹ නොපෙනී ගියා...................

ක්ෂිතිජ ඉම රේඛා මතින් පැන
තනිව හිඳිනට අවැසි මුත්
මා සිතට සැනසුම රැගෙන එන්නට
කරමි ආරාධනා.........
ලොවම නිදිගත් යාමයේ




හෝරා කීපයක් හෝ...........

නුඹ කියාදුන් ජීවිතය
විඳින්නට අවැසි නම්
නුඹ තුරුලේ උණුසුම විඳිමින්
වදනකුදු නොදොඩා
දෙනෙතින් දොඩමලු වෙමින්
රාත්‍රිය පහන් වන තුරු
තරු නිදන තුරු
සඳු මියෙන තුරු
හිරු නැගෙන තුරු
හෝරා කීපයක් හෝ..........................

දෑඟිලි පටලාගෙන
නුඹේ ලය මත සැතපීගෙන
දෙසවන් මත පතිතවන
නුඹේ සුසුම් පොදක හඬට
රාත්‍රියේ නිහඬ බව බිඳින්නට
අනුරාගී නෙතු අඩවන්කර
දඟකාර දෙතොලින්
ඇරයුම් කරනු වස්
රැඳෙන්න මා අසලම
මුළු ලොවම නිදිගත් යාමයේ
නිදි ලොවින් නික් මී
අපේම සුන්දර කැදැල්ල තුල......

2010/05/02

තාමත් ඒ අහස ඉස්සර වගේමයි

තාමත් මම දකින්නෙ ඒ අහසමයි
එක තරුවක් හරි බබලනවා....
හරියට මගේ හිතලඟ නුඹ ඉන්නව වගේ

නුඹ මට ආදරෙය් කියද්දි
රෑ අහසෙ තරු ගොඩක් තිබුනා මට මතකයි
මම නුඹට ආදරෙයි කියද්දි
ඒ අහසෙම තිබුනෙ වැහි වලකුලු විතරමයි
මම හිතුවෙ වැහි වලකුලු වැස්සක් වෙලා
මහපොලවට කඩාවැටෙයි කියලා
ඔවු වැස්ස කඩාගෙන වැටුනා
ඒත් කෝ ....
එක වැහි බින්දුවක් පොලවට වැටිල නෑනෙ
මම නුඹේ දිහා බැලුව පුදුම වෙලා
නුඹ මගේ දිහා බලල හිනා උනා
නුඹේ දෝතම දිගුකරගෙන මගේ දිහාවට
මම නුඹේ දෝත දිහා බැලුවා
"වැහි වතුර...." මට ඉබේටම කියවුනා
"නෑ මේ ඔයාගෙ කඳුලු.... වැහි වතුරට වඩා බරයි...."
"පොලවට වැටුනොත් දරාගන්න බැරිවෙයි...."
"දැන් අහස පැහදිලියී... තරු පිරිලා ... ලස්සනයි..."
නුඹ අහස දිහා බලාගෙනඑහෙම කියද්දි
මම නුඹේ දිහා බලාගෙන හිටියා...

තාමත් ඒ අහස ඉස්සර වගේමයි
තරු දිලෙනව හැම රෑකම
වැහි වලාකුලක් පේන්නවත් නෑ....
මම නුඹට කුලුඳුලේ තුරුලුවෙද්දි
අපි දිහා බලාගෙන හිටිය අහසමයි ඒ...
ඒත් ඒ අහසයට එකම එක දෙයක්
හැම මොහොතකදිම අලුත් වෙනවා
ඒ මගේ හිතේ නුඹ ගැන තියන ආදරය.....
මම නුඹට ගොඩාක් ආදරෙයි....